උසස් පෙළ හපනුන්ට ආදි ශිෂ්‍ය සංගමය වෙතින් Laptop පරිගණක


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය අභිමානවත් 102 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය පරිශ්‍රයේදී සමරනු ලැබීය. සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්විණි. අනතුරුව ආදි බණ්ඩාරනායකවරුන් වන පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. රූපසිංහ මැතිතුමා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උදේශ් ඔරුතොට මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සැමරුම් උළෙල පැවැත්වනු ලැබීය. එහිදී 2019 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛතම කුසලතාවයන් ලබාගත් බණ්ඩාරනායකවරුන් ඇගයීමට ලක් කිරීම සිදුවිය. එම අවස්ථාවේදී බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ දායකත්වයෙන් එලෙස උසස් ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීමට හා ඔවුන් තව තවත් දිරිගැන්වීමේ අරමුණින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් විනුර ඔසඳ , කලා විෂය ධාරාවෙන් පැරණි නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් නිපුන විරාජ්, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් නව නිර්දේශය යටතේ දිවයිනේ හත්වන ස්ථානය හිමිකරගත් සංජීව ප්‍රියංකර , ජීව විද්‍යා විෂය ධාරාවෙන් නව නිර්දේශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් අචල ධීමන්ත, භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් පැරණි නිර්දේශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගත් තරිඳු සමරක්කොඩි, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පැරණි නිර්දේශය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගත් දිනේෂ් රුචිර කුමාර යන බණ්ඩාරනායකවරුන් හට Laptop පරිගණක ප්‍රදානය කෙරුණි. විද්‍යාලයයේ සෑම වැදගත් අවස්ථාවකදී මෙන්ම මෙම උත්කර්ෂවත් අවස්ථාවේදී ද ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වය කැපී පෙනිණි